අපේ ගමට දෙවි පිහිටයි
“සුන්දර සිරි බරිනී, සුරැඳි ඇති ශෝභමාන ලංකා; ධාන්ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්යා …”. අපි පොඩිකාලේ අපේ ජාතික ගීය ගැයුවේ හිටගෙන කෙලින් ඉදිරිය බලාගෙනයි. එක එක වචනේ තේරුම ගැන හිතා බැලුවේ නැතත් මේ ගීතයේ වැදගත්කම අපි දැනගෙන හිටියා.
අනික් අතට “පෙරදිග මුතු ඇටයයි මේ….”, ”මනරංජන දර්ශනීය ලංකා…” වැනි ගීත අපි පොඩි කාලේ ඉතා ජනප්රිය වුනත් ඒවා ‘නිකම් සිංදු’ මිස ජාතික ගියේ ඇති තේජවන්ත බවක් ඒවා තුල අපි දැක්කෙ නෑ. නමුත් මේ ගීත සියල්ලගෙ තිබූ එක පොදු තේමාව පැහැදිලිවම පෙනෙන්න තිබුනා - ඒ ශ්රී ලංකාව පරාදීසයක් බවයි. අපේ රට සෑම අතින්ම වාසනාවන්ත තැනක් - ලස්සනයි, සරුසාරයි, දේශගුනය සෞම්යයි, මුතු මැනික් බහුලයි, රටවැසියෝ පුරාණයේ පටන් හපන්නු… කුඩාගම මේ රටේ කොටසක් වීම ගැන අපි පුදුමවුනා.
පොත්පත්, පුවත්පත්, ගුවන්විදුලිය නිතරම රට වර්ණනා කළේ මීදුමෙන් වැසීගිය කඳුවැටි, ගලාබසින රිදී දියපහරවල්, සුදු වැලි වෙරලේ මුහුඳු සුලඟට වැනෙන පොල්ගස්, අතීතයන්ගේ දක්ෂකම් පෙන්වන පුරාණ නටබුන්, ඉතා දියුනු ආයුර්වේද වයිද්ය ක්රම, බෞද්ධාගමෙන් පෝෂිතවූ සංස්කෘතිය සහ සභ්යත්වය… අපෙ ගම කොස්, දෙල්, පොල්, අල බතල වැනි ගස් වැල් වලින් මෙන්ම මීනින්නෝ, උරුලෑවෝ, කූඬැල්ලෝ වගේ පොඩි සත්තුන්ගෙන් පෝසත් වුනත් ඒ එකක්වත් දුර්ලභ හෝ වටිනා ගනයට වැටුනෙ නෑ. රිදී දියපහරවල්, පුරාණ නටබුන්, ‘දුර පෙනෙන තැනිතලා’ වලින්වත් දක්ෂ ගත්කරුවන් සිත්තරුවන් අපේ ගමේ නැති බව මට හොඳටම විශ්වාසයි.
කුඩාගම කිසිම විශේෂත්වයක් නැති ‘සාමාන්ය’ ගමක්. අපේ එකම විශේෂත්වය විශේෂත්වයක් නැතිකම විය හැකියි..
කඳුවැටි දෙකක් අතර පිහිටි පටු මිටියාවත කුඩාගමේ අක්ෂය වූ අතර ඒ මැදින් ගලාගිය ඔයට කඳුවැටි වලින්ගලා බසින ඇලවල් කිහිපයකිනුත් ජලය එකතුවුනා. මේ අනුව කුඩාගම කොටස් කිහිපයකට බෙදී ගියා. ඔය වටා පටු තැනිතලාවත් අවට සුළු බෑවුමක් සහිත බිමත් කුඹුරු වලටත් පොල්, පුවක්, කොකෝ, කොස්, දෙල් මෙන්ම එළවලු වගාවට පාවිච්චිවුනා. ගැමියන්ගේ ගෙවල්, කඩමංඩි, පාසැල සහ පංසලත් ගොඩනැගී තිබුනේ මේ බිම් කොටසෙයි. කඳුවැටියට කිට්ටු බෑවුම වැඩි බිම්වල තේ වගේම කරාඹු, කුරුඳු, ගම්මිරිස්, සාදික්කා වැනි භෝග වැවුනා. මේ විස්තරෙන් කුඩාගම යම්කිසි සැලසුමකට භෝග වගා කළ බවක් හැඟේනම් එය සම්පූර්නෙන්ම් වැරදි තීරණයක් බව සිතාගත යුතුයි. අපේ ගැමියෝ තමාට පරම්පරාවෙන් අයිති ඉඩම් කැබැල්ලේ තමාට කැමති/හැකි ලෙස වගා කළා. මුළු ගමම ගතහොත් එහි වගාව අච්චාරු හැලියක් මිස කිරිබත් කැට පිඟානක් ආදර්ශයට ගත් බවක් දැකිය නොහැකියි.
කොතරම් අඩුපාඩු තිබුනත් කුඩාගම මට හොඳයි - ඒක මගේම ගම නිසා.
මගෙ නම අජිත් හේරත්. මගෙ බිරිඳ කමලා. අපිට ළමයි දෙන්නයි; පුතා නිලංත විශ්වවිද්යාලේ, දුව සිරිනී 12 වසරේ - එන අවුරුද්දේ විශ්වවිද්යාල ගමනට බලාපොරොත්තුවෙන්. අපි පසුගිය අවුරුදු දහයක්ම මහනුවර නගර සීමාවට සුළු දුරක් පිටතින් මා හැදූ ගෙදරයි. ලංකාවේ බොහෝ පලාත්වල රැකියා කරලා අපි මහනුවරට ආවේ දරුවෝ ‘හොඳ’ ඉස්කෝලවලට ඇතුලත් කරගන්නයි. දැන් අපි හැම අතින්ම ‘නාගරිකයෝ’. නමුත් මම යටි හිතෙන් තවම ‘කුඩාගමයෙක්’ – කුඩාගම් නොඋපන් කුඩාගමයෙක්.
මගේ නංගියි මමයි කුඩාගම පදිංචියට ආවේ පොඩි කාලේ, අප්පච්චිගෙ මරණෙන් පස්සේ. කැලෑ දෙපාර්තමේන්තුවේ සේවයකළ අප්පච්චී අනතුරකින් මියගියේ රැකියාවට කැලෑවකට ගිය අවස්ථාවකදියි. මට යම්තමට මතකයි අපෙ නාඋල නිල නිවාසෙන් ඉවත්වෙලා අම්මගෙ පාරම්පරික ගමට එනවා. අම්මගෙ මල්ලී, අබේ මාමා, අපේ කරදරේ ආරංචිවුන ගමන්ම අපි මාමලගෙ ගෙදරට ගෙන්නා ගත්තා. අවුරුද්දකින් අපෙ අම්මා නැතිවුනේ හිතේ දුක නිසා කියලා සුනිල් අයියා මට් කිව්වා. මට වඩා අවුරුදු අටක් වැඩිමල් වුනත් නංගියි මමයි දෙන්නම වඩාම කිට්ටු වුනේ ඒ පවුලේ වැඩිමහල් දරුවා වූ සුනිල් අයියට මිස ඔහුගේ බාල සහෝදරයෝ දෙන්නාටවත් සහෝදරීටවත් නොවෙයි. මාමයි නැන්දයි ඒ අයගෙ දරුවෝ හතරදෙනයි අපිට කිසි වෙනස්කමක් කළ බවක් මට මතක් නෑ. ඒ පවුල නිසාමයි අපිට අප්පච්චියි අම්මයි නැති පාළුව නොදැනුනේ. අපි ගමේ අනික් පවුල් වලට වඩා වෙනස් බවක් මම දැක්කෙ නෑ.
ළමයි හයදෙනාම ප්රාථමික අද්යාපනේ ලැබුවේ ගමේ ඉස්කෝලෙන්. ගොඩනැගිලි පරණ වුනත් සමහර ගුරුවරු නාකි ලෙස අපිට පෙනුනත් අපි ඉස්කෝලේ වැරැද්දක් දැක්කෙ නෑ. අබේ මාමා මුල්ගුරු වීමත් කරුනා නැන්දා ගුරුවරියක් වීමත් ගැන නංගියි මමයි ආඩම්බරවුනා; විශේෂයෙන්ම අපි ඒ දෙන්නත් සමග එකට ජීවත්වීම නිසා. ගෙදර සෑම දරුවෙක්ම පස්වෙනි වසරෙන් පසු මහනුවර ‘ලොකු’ ඉස්කෝලේකට ඇතුල්කරනු ලැබුනා.
අපිට අපේම කුඹුරු වලින් සහලුත් ඉඩම් වලින් කෑම බීමට අවශ්ය එළවලු පළතුරු ලැබුනා. එමෙන්ම විකුනා මුදල් වලට හරවාගතහැකි කරාඹු, ගම්මිරිස් වැනි භෝග නිසා අපිට කිසිම ආර්ථික අඩුවක් දැනුනෙ නෑ. මේ නිසාමදෝ අපේ ඉඩමකින් ගැමියෙක් කොස් ගෙඩියක් හෝ පොල්ගෙඩියක් ගත්තත් මාමා ඒගැන විමසුවේ නෑ. සමහරවිට ගැමියෝ සියළුදෙනාම වාගේ දුරින්හරි අපේ නෑදෑයෝ වීමත් මේකට හේතුවක් වියහැකියි.
කුඩාගමෙන් බහුතරයක් ගොවියෝ වුවත් සමහරු ඊට වැඩිය ‘උසස්’ තත්වයකට අයිතිවාසිකම් කිව්වා. පංසලේ හාමුදුරුවොත්, පාසැල් ගුරුවරුත්, රජයේ සේවකයොත්, ගමේ වෙදාත්, කෝරලේ/ආරච්චි මහත්තුරුත් මේ කට්ටියට එක්වුනා. පාරම්පරික කුඩාගම්කාරයෝ ‘පිටගම්කාරයන්ට’ වැඩි උසස් තත්වයක ඇතැයි සමහරු පිළිගත්තා -එකම රැකියාවේ යෙදුනත්. පංසලේ හාමුදුරුවෝ විශේෂ ගණයකට අයිතිවුනේ ඔහු නිතරම ‘නිල ඇඳුමෙන්’ සිටි නිසයි.
ගමේ වෙදා ගොවියන්ට වඩා කිට්ටුවෙන් හිටියේ ලෙඩට බෙහෙත් නොදෙන වෙලාවට ඔහුත් ගොවියෙක්වූ නිසයි. නමුත් ගමේ ඕනෑම ගෙදරක් ලෙඩක් දුකක් ඇතිවූ වෙලාවට රෑ දවල්, අව්ව වැස්ස නොබලා වෙදා එතැනට ගොස් අවශ්ය වෙදකම් ලබාදුන්නා. මේනිසාම වෙදාට තරහ කාරයෝ හිටියෙ නෑ. තවත් විදිහකින් වෙදා අනික් ගැමියන්ට වඩා වෙනස්වුනා. මා දන්න තරමින් ගමේ හොල්මන් වැනි අද්භූත සිදුවීම් ගැන විශ්වාසයක් හෝ බියක් නොපෙන්වූයේ ගමේ වෙදා පමනයි.
අනික් අතට අද්භූත ලෝකය තම ප්රවීණතාවය ලෙස සැලකූ ගමේ කපුරාලටත් වෙදාට සමාන ‘තත්වයක්’ ගැමියන්ගෙන් ලැබුනා. අයහපත් බලවේගවලින් ගම්මුන් මෙන්ම ගේදොර සහ කුඹුරුත් ගලවාගැනීමට කපුරාල කටයුතු කළා. භූතාවේශ වූවෙකුමෙන් බෙර පදයට නටමින් යාතිකා කරන කපුරාලට හොල්මන් වුවත් බයවීම පුදුමයක් නොවෙයි කියලා සුනිල් අයියා මට කිව්වා.
අපේ ගමට කපුරාල කෙනෙක් අවශ්යමයි - ගමේ පැතිරී තිබූ හොල්මන් කතාවලින් කාලක් ඇත්තවුනත් අපේ ගම් හොල්මන් අතින් සමෘද්ධයි. රෑ ගෙදරින් එලියට බසින ඕනෑම වෙලාවක හොල්මනක් දකියි යන විශ්වාසය අපි අතර තිබුනා. සුසානභූමි අවට හොල්මන් සිටීම කොයිතරම් තරයේ විශ්වාස කළාද කිවහොත් දවල් වරුවේවත් තනියම සුසානභූමියක් හරහා යෑමට අපි බයවුනා [ප්රසිද්ධ සුසානභූමිවල තරම් පවුලේ සුසානභූමිවල හොල්මන් අඩු ඇයිදැයි අපි සොයාබැලුවෙ නෑ - සමහරවිට නෑදෑයන්ට හොල්මන් කිරීම ඔවුන්ගේ කල්ක්රියාවට විරුද්ධ ඇති]
හොල්මන් කිසි දිනක මිනිසුන්ට ‘හොඳක්’ නොකරන බව අපි දැනගෙන හිටියා. ඔවුන් කරන ‘නරක’ ක්රියා වලට විරුද්ධව ගමේ තුන් දෙනෙක් වැඩකළා.
පංසලේ හාමුදුරුවෝ කිව්වේ මිනිස් ආත්මයක් ලබාගන්න තරම් පින් නොකළ අය මෙසේ භූත ආත්ම ලබා සිටින බවත් ඔවුන් ගලවා ගැනීමට අපි ඔවුන්ට පින් පැමිනවියයුතු බවත්ය. කපුරාල කිව්වේ තොවිලයකින් ඔවුන් පලවා හැරිය හැකි බවයි. වෙදා ‘අනේ මොන හොල්මන්ද?’ කියා ඒවා නොතකා ඉන්න අවවාද කළා.
නමුත් අපිට හොල්මන් නොතකා ඉන්න ශක්තියක් තිබුනෙ නෑ. හොඳම අදහස ආවේ සුනිල් අයියගෙන්. අයියා කිව්වේ අපේ ගමට දෙයියෝ අවශ්යයි කියලා - “එතකොට දෙයියන්ට ගමේ හොල්මන් ‘නිරායුධ’ කළහැකි”
එතකොට අපි කිව්වේ “අපේ ගමට දෙවි පිහිටයි!” කියලා.